රොස් ගහගෙන මොකද ළඳුනේ නුඹ ඉතින
උස් සහ කර බැලීමි එක් වෙන්නට මාන
විස් වහ කමක් නැත අවගති මිස පාන
ඇස් වහ වදිනවද මම බැලුවම මුණ….
💃💃💃💃💃💃🕺🕺🕺🕺💃💃💃💃💃💃
දස්ස කමට රති මදනා තෙද පානා
විස්ස පිරුණු අඟනක් දුටුවම ඔබිනා
පස්ස වන වනා සිටගෙන කර ගමනා
හොස්ස ඉඹින්නටවත් ඉල්ලය් සොඳිනා….”
අතීතයේ අපේ ජන කවියා හරිම නිදහසේ කවිපද ගොතලා තියනවා ...
”සුංගාර රසය” තියන කවි ගොඩකින් බොහොම අමාරුවෙන් මේ සමූහයට ලියන්න හැකියාව තියන ඔය කවිදෙක විතරක් ලීවේ ....මේ ළඟදී අහම්බෙන් කතිකාවක ඉන්නකොට ආපු මාතෘකාවක් එක්ක ...ආචිරියා ගාලක් පැටලිලා ...පැටලිල්ල ලෙහුණේ අන්තර්ජාලයේ උදවුව අරං ..
“හොරාකාලා දුවන බල්ලට පොල් බෑවෙන් ගැහුවා වගේ ” හොයද්දී ලැබුණු තොරතුරු හිංදා ආචරියා කරළ නතරකලේ අසල්වැසි ඉන්දියාවේ “කවුන්ච් බීජ්” ගැනත් කියවලා ...ඔන්න ඉතිං අහගන්න ..
වඳුරු මෑ / ආචාරියා/ Cowhage/ Velvet bean/ පූන ඉක්කාල්/ ශුකශිම්බී
විද්‍යාත්මක නම: Mucuna pruriens (L.) D.C.
සමහර අපේ ආහාර වර්ග තියනවා ..මොන තරම් ගුණ තිබුනත් එක දිගට දෙවේලක්....දවල්ටත් කාලා ඉතුරු උනොත් රෑටත් වගේ නොකන ...කලාතුරකින් දකින්න ලැබෙන ඒ වගේ වර්ග එහෙම වෙලා තියන්නේ අධි පෝෂණ ගුණ නිසා ..
එහෙම වර්ගවලින් වටිනා එක වර්ගයක් තමා මෙන්න මේ වඳුරු මෑ / වඳුරු කුද කියන මෑ වර්ගය .
වඳුරු මෑ කියන්නෙ ඉතා රසවත් ආහාරයක් වගේම ඉතාමත් හොඳ ඖෂධයක්.. ඒ වාගේම මෙය කෑවොත් විසයි කියා මතයක් සමාජයේ පවතිනවා.ඒකට හේතුව තමා ගොඩාක් දෙනා මේ වර්ගය උයන්න දන්නේ නෑ . ඒ වගේම මේවයේ ගුණයන් දන්නෙත් නෑ ..
වඳුරු මෑ වැල විශාල ලෙස පැතිරී යන මෑ කොළවල හැඩය ඇති ඊට වඩා විශාල කොළ සහිත මැස්සක් හෝ වැටක් හෝ හොඳින් අතුපතර විහිදී ගිය ගසක් හෝ ඇසුරු කරගෙන පැතිරී වැඩෙන වැලක්. ගම්වල "ආචාරිය/ආචිරියා" නමින් හඳුන්වා දුටු විගස විනාසකරන...කරල් පොකුරු වශයෙන් හටගන්න බෝංචි කරලක හැඩය ඇති අතර ඒ තරම් දිග නැති එහෙත් බෝංචි කරල්වලට වඩා රළු...හොඳට පැසුණු කරල්වල පිට පොත්ත කළු පාට වෙන...කරල්වල පිට පොත්තෙහි වඳුරෙකුගේ පවතින රෝම වැනි කළුපාට දිග බූවක් පවතින නිසා වඳුරු මෑ වෙච්ච ...වටිනා බෙහෙතක්.
මේ බූව තරමක් රළු වගේම ඇඟෙහි ගෑවුන විට කසන්න ගන්නවා ..ඒ නිසාම ගම්වල මිනිස්සු හරිම බයය්...මේ ගැන බොහෝ කථා තියනවා.... ඉස්සර කාලයේ තරහට මේ බූව ගස්ලබු බටයකට දමලා හුළං අතබලලා තමුන්ට නොඑන්න පිඹලා මිනිසුන්ට කරදරකරාපු විස්තර අපි පුංචිකාලේ අහලා තියනවා ..ඒ නිසාම වැලක් දුටු විගස ගලවන සිරිතක් අපේ ගම්වල තවම තියනවා ..
මේ කාළයේ තමා කරල් පැහෙන්නේ ...පෙබරවාරි මාර්තුවල ලස්සන දම් පාට මල් පොකුරක් හැදිලා මේ වෙනකොට කරල් මෝරන කාළය...ඔයාලත් හදලා තියනවානම් දැන් කරල් තියෙන්න ඕනේ ....
කණ්ඩුරා - කරල් ස්පර්ශ වූ විට කසන හෙයින්ද
වාතාරී – වාතය නසන හෙයින්ද
රෝම වල්ලී – ශාකයේ බූවක් ඇති බැවින්ද
දුඞස්පර්ශා – ඇටයේ බූව කසන නිසා ඇල්ලීමට අපහසු හෙයින්ද ..
ඔන්න ඔය විදිහට වෙද පොත්වල ලියලා තියන මේ අනර්ඝ ඇටය .... ස්නායු පද්ධතිය සම්බන්ධයෙන් විශිෂ්ඨ බලපෑමක් කළ හැකි ඖෂධයක්.
හදිසියේ හරි වගාවකින් බූව ගෑවිලා කහන්න ගත්තොත් ..හොඳට මතකතියාගන්න... එකම බෙිත තමා දෙහි දළු....දෙහි වෙනුවට දොඩං ගත්තත් කමක් නෑ ..හොඳට අඹරලා ගාන්න...එහෙම නැත්තං ඉතිං හම ගැළවෙනකං කහන්න තමා තියන්නේ ...
අපිට අතීතයේ වැරදීම් ගොඩාක් වෙලා තියනවා ..මේ තියන්නෙත් ඒ වගේ එක වැරදීමක් තමා … බොහෝ දෙනා දැන් ආහාර අහේනියට මුහුණ දෙන හැටි කියාදෙනවා… නමුත් මේ වගේ කිසිම තෙලක් පොහොරක් කෘමි හානියක් නැතුව ..සුමානෙකට සැරයක් අධි පෝෂණයක් ලබාගන්න හැකියාව තියන මේ වගේ දෙයක් වවන්න හිතන්නේ නෑ ...
පොඩි දරුවෝ ඉන්න ගෙවල්වල ටිකක් ඈතට වෙන්න හදාගන්නඑක නුවනට හුරුය් කියලත් ලියන්නේ පස්සේ මට බනිනකොට හච්චිං යන හිංදා....
නිවරදිව උයන්න නොදන්නා නිසා වඳුරු මෑ ආහාරයට ගත්තම වමනය, හිස කක්කුම් හා උණ වැනි තත්වයන් ඇතිවෙන්න පුළුවන්. හරියට නිවැරදිව උයලා ගත්තොත් ....අපේ පරානවල ලිංගික දුබලතා වලට මෙය ප්රත්යක්ෂ ඔසුවක්.... දියවැඩියාව, පාකින්සන් රෝගය වගේම ශරීර ශක්තිය වඩවන....රුධිර සංසරණ පද්දතියේ රෝග වලටද ප්රත්යක්ෂ ඔසුවක් ..
ඒ නිසාම දැන් බටහිර බෙහෙත්අතරේ මේ ඇට වලිං පෙති කරල් හදලා අපිට එවනවා ..අපේ ස්නායුආබාධ වලට බොන්න කියලා ..අපි ඒවා බොනවා ..වත්තේ වැටේ ඉබේ හැදෙන පැලය ගලවලා විසිකරනවා ..අසිරිමත් උදාර ජාතියක් අපිත් ..නේද ?
ඔය පහළින් සඳහන්කරලා තියන අන්තර්ජාල සබැඳි වලින් ගිහිල්ලා KAUNCH BEEJ කියලා අසල්වැසි ඉන්දියාවේ මනුස්සයෝ මේ වඳුරු මෑ ඇට පිටි වලින් ගන්නා ප්‍රතිකාර ගැන අනිවාර්යයෙන් කියවන්න ...සාර්ථක විවාහ ජීවිතයකට බොහොම උපකාරී වෙනවා ..ඇත්තමය්....
අපේ ගම්වල මේ වඳුරු මෑ උයන්න ඉස්සරලා විස මරණවා කියලා දෙයක් කරනවා .. ලපටි කරල් වලින් නොමේරූ ඇට වෙන්කරගෙන නටන උණු වතුරේ පියන නොවසා පැයක් විතර තම්බා වතුර පෙරා ඉවත් කරගත යුතුයි. සමහරු පොල් වතුර දමා තැම්බීම කරනවා.. තැම්බී මෙලෙක්වූ පසු සාමාන්‍ය ව්‍යාංජනයකට යොදන දුරු පහේ ලුණු හා මිටි කිරි දමා සකස්කරගන්නවා... වැදගත්ම දේ එක ළඟ දෙවේලක් කන්නේ නෑ .. ඒ අධික පෝෂණ ගුණයක් තියන නිසාමය් .
හැකියාව තියන අය මේ වගේ දේවල් වගාකරලා ආහාරයට ගැනීම වැදගත්නිසා තමා මේ ළිපිය ලියන්න හිතුවෙත් ..නැත්නම් මේ දේවල් අපෙන් ටික ටික ගිලිහිලාම යනවා... අන්තර්ජාලයේ හොයලා බලනකොට වර්ග ගොඩක් තියනවා ඇට එක එක පාට ..ලංකාවේ මම දැකලා තියන්නේ කළුපාට ඇට තියන වර්ගය විතරය් ..සමහරවිට තවත් ප්‍රබේධ ඇති අපි නොදැනුවත්වම ..හැකියාව තියන ..ඉඩපාඩු තියන අය මේ වගේ දේවල් වගකරමු ..අනාගතයට ඉතුරුකරමු ..නැත්නම් ඉතිං කාලයත් එක්ක මේ දේවල් වලපල්ලට යාවි ..අපේ රටේ තියන දේවල් අපිට අගයක් නෑ . අප්‍රිකානු රටවල්වල මහාපරිමාණයෙන් වගා කරලා ඒවායින් විදේශ විනිමය උපද්දවනවා..අපි සෑම දෙයක්ම පිටරටින් එනතුරු පාලකයනට බැන බැන ඉන්නවා ...කරන්න හැකිදේ කරන්න උත්සාහ කරන්නේ නෑ ..මේවා තුලින් නව නිපැයුම් එළිදක්වන්න අපේ අයත් හිතන්න ඕනේ . හැමෝම බලන්නේ ඇපල් හිටවන්න ...කමක් නෑ ඇපල් පැලයක් එක්ක වඳුරු මෑ වැලකුත් හදමු ..ජයවේවා !
තොරතුරු ෆොටෝ සඳහා ස්තුතිය් අන්තර්ජාලයේ මුල් හිමිකරුවන්ට .
අරුණෝදයට අකුරු කළේ විජිත රණසිංහ VIJITHA RANASINGHE 2020.06.27
https://en.wikipedia.org/wiki/Mucuna_pruriens
https://www.ncbi.nlm.nih.gov/pmc/articles/PMC3942911/
https://www.seedscience.org/2019/05/08/the-magic-velvet-bean-of-mucuna-pruriens/
https://en.wikipedia.org/wiki/Velvet_bean
https://rain-tree.com/velvetbean.htm
https://www.1mg.com/ayurveda/kaunch-beej-73
https://www.zeeayurveda.net/blogs/news/health-benefits-of-kaunch-beej
— with Priyantha Weerasooriya.
0 comments:
Post a Comment