ජීවත් වෙන්න බැරි නිසා ජීවිතය නැති කර ගන්න විවිධ දේ කරන, එහෙම කරලා ජීවිතය නැති කර ගත්ත, ජීවිතය බේරිලා සදාකාලික අසරණ භාවයට පත්වුණු මිනිස්සු ඕන තරම් ඉන්නවා. අපි අහලා තියෙනවා, දැකලත් තියෙනවා. හේතුව මොකද්ද කියන්න මම දන්නේ නැහැ. ඒත් මොන දේ නිසා හරි මිනිස්සු එහෙම කරනවා.
ප්‍රශ්න කියන දේවල් විසඳා ගන්න පුළුවන්. හැම ප්‍රශ්නයකටම කොහේ හරි විසඳුමකුත් තියෙනවා. ඔයා ගැන හිතන්න. මොකක් හරි ප්‍රශ්නයක් නිසා ඔයා ජීවිතෙන් සමුගන්න තීරණය කරනවා. ඔයා ඒක ප්ලෑන් කරනවා. ඒත් මතක තියාගන්න ඔයා ජීවිතය නැති කර ගන්න සැලැසුම් කරන වාරයක් වාරයක් පාසා, මේ රටේ තවත් තැනක කවුරුහරි කෙනෙක්, මැරෙන්න ඔන්න මෙන්න තියෙද්දී ජීවත් වෙන්න දඟලනවා, ජීවිතේට එන ප්‍රශ්නයක් නිසා ජීවිතේ නැති කර ගන්න හැදුවට ඇත්ත ඒක තමයි.
මම මේ තරම් වෙලා පාරදිගේ අතිරේකයේ මට ලැබුණු ඉඩ ඇතුළේ මේ වගේ කතාවක් කියන්න උත්සාහ කළේ ජීවිතේ වටිනාකම මටත් හොඳින් දැනුණු නිසයි. මහරගම පිළිකා ආයතනයේ වාට්ටුවක් වාට්ටුවක් ගාණේ ජීවිතයේ වටිනාකම, දැනුණු නිසයි.
ඒ නිසාම ‘පාරදිගේ අපි’ හිතුවා ලංකාවේ බහුලව දක්නට ලැබෙන පිළිකා රෝගී තත්ත්වයක් වන ලියුකේමියාව ගැන ඔයාට කියන්න. වෙනදා වගේම අදත් නාරාහේන්පිට ජාතික පිළිකා මර්දන වැඩසටහනේ ප්‍රජා විශේෂඥ වෛද්‍ය සුරාජ් පෙරේරා මහතා ඔයාට ලියුකේමියාව ගැන තොරතුරු කියයි.
ඩොක්ටර් ලියුකේමියා රෝගය මොකද්ද?
ලියුකේමියාව කියන්නේ රුධිර සෛල නිපදවන ඇට මිදුළු තුළ රුධිර සෛල නිපදවීම සම්බන්ධව ඇතිවන ගැටලුවක්.
ඒ ගැන පැහැදිලි කරන්න?
මෙහෙමයි, ඇටකටු හෙවත් අස්ථි තුළ තිබෙන ඇටමිදුළුවලින් තමයි අපේ රුධිරයේ තිබෙන රතු රුධිරාණු, සුදු රුධිරාණු සහ රුධිර පට්ටිකා නිපදවෙන්නේ. එහිදී ඇටමිදුළු තුළ තිබෙන නොමේරූ රුධිර සෛල වර්ධනය වෙලා රුධිරය නිපදවීම් සිදු වෙනවා.
නමුත් මෙහි ඇතිවන යම් ගැටලුවක් මත මේ නොමේරූ සෛල අසාමාන්‍ය ලෙස වර්ධනය වෙලා අත්‍යවශ්‍ය රුධිර සෛල වර්ධනයට බාධා පමුණුවනවා. අපි මුලිනුත් කිව්වා සිරුරේ ඇතිවන අසාමාන්‍ය සෛල වර්ධනයක් තමයි පිළිකාවක් කියන්නේ කියලා. එතැනදී නොමේරු රුධිර සෛල අසාමාන්‍ය ලෙස වර්ධනය වෙලා ලියුකේමියාව නමැති පිළිකා රෝගය ඇතිවනවා.
ඉන්පසුව සිදුවන්නේ මොකද්ද?
අසාමාන්‍ය සෛල වර්ධනය නිසා සාමාන්‍ය සෛල වර්ධනයට බාධා මතු වෙනවා. එවිට සුදු රුධිරාණු අඩු වීම, රතු රුධිරාණු අඩු වීම, රුධිර පට්ටිකා අඩු වීම තමයි සිද්ධ වෙන්නේ.
එතකොට සාමාන්‍ය ව්‍යවහාරයේ ‘ලේ වතුර වෙනවා’ කියන්නේ ඇයි?
මේ අසාමාන්‍ය ලෙස වර්ධනය වන සෛල, රුධිරයට එකතු වෙනවා. ඒ වගේම අත්‍යවශ්‍ය රුධිර සෛල නිසි ලෙස නිපදවෙන්නෙත් නැහැ. ඒ නිසා තමයි ජන ව්‍යවහාරයේ ලේ වතුර වෙනවා කියලා ලියුකේමියාව හඳුන්වන්නේ.
දැනට ලංකාවේ ලියුකේමියා රෝගීන් කොපමණ ප්‍රමාණයක් ඉන්නවද?
දැනට සෞඛ්‍ය අමාත්‍යාංශයේ ජාතික පිළිකා ලේඛනයට අනුව ප්‍රධාන පිළිකා 10 අතර තිබෙන පිළිකාවක් ලෙස ලියුකේමියාව හඳුන්වන්න පුළුවන්. ඒ ලේඛනයට අනුව වසරකට ගැහැනු අය 300ක් 400ක් පමණත්, පිරිමි අය 300ක් 400ක් පමණත් ළමයින් ද ඇතුළුව දහසක් හෝ ඊට අඩු ප්‍රමාණයක් රෝගීන් වාර්තා වනවා.
ළමයින් අතර ලියුකේමියාව පැතිරී යෑම මොන වගේද?
0 – 14ත් අතර දරුවන් තුළ ලියුකේමියාව දකින්න පුළුවන්. නමුත් ලියුකේමියාව දරුවන් අතර බහුල පිළිකාවක් නොවේ.
ළමයින් අතර තිබුණා කියලා “ළමයින් අතර බහුල පිළිකාවක්” කියන එක වැරැදි මතයක්.
ලියුකේමියාව වර්ග කීපයක් තිබෙනවා නේද?
ඔව්. ලියුකේමියාව වර්ග ගණනාවක් තියෙනවා. නමුත් මේ සියල්ලම අයිති වන ප්‍රධාන කොටස් දෙකයි තියෙන්නේ. ඉන් එකක් ඉක්මනින් වර්ධනය වන ලියුකේමියාව. අනෙක සෙමින් වර්ධනය වන ලියුකේමියාව. මේ කොටස් දෙකත් තවත් කොටස්වලට බෙදන්න පුළුවන් තරම් ලියුකේමියාවේ කොටස් තිබෙනවා. ඒ රෝගය සෛලවලට බෙදෙන විදිය අනුව.
මින් ඉක්මනින් සුවපත් කළ හැකි කාණ්ඩය මොකද්ද?
ඉක්මනින් වර්ධනය වන පිළිකාව සම්පූර්ණයෙන් සුවපත් කරන්න පුළුවන්.
ළමයින් අතර තිබෙන්නෙත් ඉක්මනින් සුව කළ හැකි ලියුකේමියාව. ඒ නිසා ළමයින්ට සුදුසු ප්‍රතිකාර ඉක්මනින් ලබා දුන්නාම, නිට්ටාවටම සුව කර ගන්න පුළුවන්. හුඟක් අය දරුවන්ට ලියුකේමියාව වැලැඳුණාම බය වෙනවා. නමුත් එහෙම බය වෙන්න අවශ්‍ය නැහැ. ඉක්මන් ප්‍රතිකාරවලට යොමු වුණාම රෝගය සුව කරන්න පුළුවන්.
ලියුකේමියාව ඇතිවීමට බලපාන හේතු මොනවාද?
හේතුව හරියටම පැහැදිලි කර ගන්න තවම වෛද්‍ය විද්‍යාව සමත් වෙලා නැහැ. නමුත් ජානමය හේතු වෙන්න පුළුවන්. එවැනි ජානමය හේතු ඇති වීමට බලපාන විශේෂිත ජාන වර්ග හඳුනාගෙන තිබෙනවා.
විශේෂයෙන් විකිරණවලට නිරාවරණය වීම, සමහර රෝග සඳහා නිර්දේශිත ඔෟෂධ දිගුකාලීනව භාවිතය, කර්මාන්ත ශාලා ආශි‍්‍රතව සේවයේ නිරත වීම, බෙක්සික් රසායනයට නිතර නිරාවරණය වීම සහ සමහර වයිරස ආසාදනත් ලියුකේමියා රෝගය ඇති වීමට හේතු වනවා.
රෝග ලක්ෂණ මොනවද?
ප්‍රධානතම කරුණ වෙන්නේ, ඒ ඒ රුධිර සෛල අඩු වීමත් එක්කම එම රුධිර සෛල මඟින් සිදුවන කාර්ය හරි ආකාරව සිදු නොවීමයි. ඒ කියන්නේ සුදු රුධිරාණු අඩු වීම නිසා ප්‍රතිශක්තිය අඩු වෙනවා. එවිට හඳුනාගත හැකි විශේෂිත හේතුවක් නොමැතිව දිගු කලක් පවතින උණ, ශරීරයේ වාසාග්රන්ථි ඉදිමීම වගේ ලක්ෂණ එන්න පුළුවන්.
ශරීරයට අවශ්‍ය ඔක්සිජන් සහ පෝෂක අරගෙන යන්නේ රතු රුධිර සෛලයි. රතු රුධිරාණු අඩු නම් ශරීරයට ලැබෙන ඔක්සිජන් අඩුවෙලා ඒ හේතුව නිසා ඇතිවන අධික වෙහෙස දැනෙනවා.
රුධිර පට්ටිකා අඩු නම් සමේ මතුපිට ඇතිවන ලේ ගැලීම්, සම මතුපිට ලේ පැල්ලම් මතු වීම, විදුරුමස්, නාසය හා මුත්‍රා මාර්ගයෙන් ලේ ගැලීම, විදුරුමස් ඉදිමීම, අස්ථිවල වේදනාව වැනි රෝග ලක්ෂණ එනවා.
ප්‍රධානම වශයෙන් ශරීරය දුබල වීම, මහන්සිය, දිගු කාලීනව හේතුවක් නොමැතිව උණ පවතිනවා නම් වහාම වෛද්‍යවරයෙක් වෙත ගිහින් ඉදිරි පරීක්ෂණ සඳහා යොමු වෙන්න. වැදගත්ම දෙය වෙන්නේ කලින් හඳුනා ගත්විට ඉක්මනින් සුවකළ හැකි වීමයි.
මොනවද ලියුකේමියාවට තිබෙන වෛද්‍ය පරීක්ෂණ?
ලියුකේමියාව සඳහා ප්‍රථමයෙන්ම කරන Full Blood Count(FBC) පරීක්ෂාව ඕනෑම වෛද්‍යවරයෙක් හරහා කරගන්න පුළුවන්. එතැනදී බ්ලඩ් පික්චර් (Blood Picture) එකේ අසාමාන්‍යතාවක් තිබෙනවා නම් ඉදිරි ප්‍රතිකාර සඳහා යොමු විය හැකියි.
මොනවද ලැබෙන ප්‍රතිකාර?
රජයේ රෝහල්වලින් ප්‍රතිකාර ගන්න පුළුවන්. ලියුකේමියාව නාශක ඔෟෂධ තිබෙනවා. ඒ වගේම විකිරණ ප්‍රතිකාර මඟිනුත් සුවකළ හැකියි. ඒ හැරුණු විට ඇටමිදුළු බද්ධය සාර්ථක ප්‍රතිකාරයක්; නමුත් දැනට ලංකාවේ රජයේ රෝහල්වල ඇටමිදුළු බද්ධය සිදුවන්නේ නැහැ. ඒ සඳහා විශාල මුදලක් වියදම් කරලා විදෙස් ගත වී ප්‍රතිකාර ගන්න සිදුවෙනවා.
ඒක තමයි අද කතාව. දැන් ඔයා හිතයි, ලියුකේමියා රෝගයට නිශ්චිත ප්‍රතිකාර සඳහා විශාල මුදලක් වියදම් කරලා විදෙස් ගතවෙන්න සිදුවේවි කියලා. ඇත්තටම මෙතෙක් කාලයක් සිදුවුණේ ඒ විදියට තමයි. නමුත් කාලය සියලු දේ වෙනස් කරනවා. මම මුලිනුත් කිව්වේ ඕනෑම ප්‍රශ්නයකට විසඳුම් තිබෙනවා කියලා. මම ආයෙත් කියනවා ඕනම ප්‍රශ්නයකට විසඳුම් තිබෙනවා වගේම මේ ප්‍රශ්නයටත් විසඳුම් තිබෙනවා කියලා.
මම ඔයාට ඒ කතාව අනිවාර්යයෙන්ම කියන්නම්. මතක තියාගෙන ඉන්න. තවදුරටත් ලියුකේමියා රෝගය සඳහා විශාල මුදලක් වියදම් කරගෙන රෝහල් ගත වෙන්න අවශ්‍ය නැහැ. ලෝකේ සෞඛ්‍ය ක්ෂේත්රය දියුණු රටක් වුණු ශ්‍රී ලංකාව ඒ ප්‍රශ්නයට විසඳුමක් හොයාගෙන ඉවරයි.
දැනටමත් පෙර කිව්වා වගේ රෝග ලක්ෂණ තිබෙනවා නම්, ඉක්මනින් වෛද්‍ය ප්‍රතිකාර සඳහා යොමු වෙන්න. අනුමත කළ නොහැකි විවිධ ප්‍රතිකාර ක්‍රමවලට යොමුවෙලා අවසාන මොහොතෙදි ආවොත් රෝගය සුව කරන්න බැහැ. ඒ නිසා ඒ ගැන ටිකක් හිතන්න ඔයාගේ ජීවිතේ වටින්නේ ඔයාට නිසා.
0 comments:
Post a Comment